පනින්න පෙර සිතා බලනු
එකමත් එක රටක ලස්සන පොකුණක් තිබුණි. එහි මල් තිබුණි. එහි නොයෙක් වර්ගයේ සත්තු සිටියෝ ය. එහි හංසයෝ, තාරාවෝ, ගෙම්බෝ සහ මාළු සිටියෝය. ඔවුහු බොහෝ සන්තෝසයෙන් එහි වාසය කළෝය.
එකල නියඟයක් එම රටට ආවේ ය. වතුර නැතිව ගස් මැලවිණ. අහස නිල් පාටට බැබළුණි, එක වැහි වළාවක්වත් නැතිව. ටිකෙන් ටික පොළොවේ දිය සිදෙන්නට විය. පොකුණේ හිටි හැම සතෙක්ම ඒ ගැන කරදරයෙන් සිටියේ ය. මීට වඩා හොඳ පොකුණක් සොයා ගැනීමට හංසයෝ ඉගිලී ගියෝ ය. ළඟ තව නදියක් තියෙනවා ද බැලීමට තාරාවෝ ඇවිද ගියෝ ය. යන්න කොහෙවත් නැති නිසා මාළුවෝ තැතිගෙන සිටියෝ ය. තමන් ඉක්මනට මිය ඇදේයැයි ඔවුහු සිතුවෝය.
එහි ගෙම්බෝ දෙදෙනෙක් ද විසුවෝය.
“අපි දැන් මොක ද කරන්නේ? තරුණ ගෙම්බා ඇසුවේ ය.
“අපිට ගිහින් වතුර හොයාගන්න වෙනවා. නැත්නම් අපි මැරෙයි,” වයසක ගෙම්බා කීය. ඉතිං ඔවුහු පොකුණෙන් පිටතට පැන වතුර හොයාගෙන ගියෝය. යම් කලක් ගත වූ පසු ඔවුන්ට පරණ ළිඳක් හමු විය. ඔවුහු එහි බැම්මට පැන ඇතුළට එබිකම් කළෝ ය.
ඔවුන්ට පිරිසුදු නැවුම් ජලය එහි දැක ගත හැකි විය.
ඔවුන් සන්තෝසයෙන් ඇතුළට පැන වතුර බිව්වෝ ය. එය ගැඹුරු සිසිල් ළිඳක් විය.
“අපි මෙහේ ඉම්මු,” තරුණ ගෙම්බා සන්තෝසයෙන් කීය. “අපිට මෙහෙන් කවදාවත් යන්න ඕනෙ නෑ.”
හැබැයි වයසක ගෙම්බා බුද්ධිමත් විය. ඔහු අහස දෙස බැලීය. ඔහු ළිඳ වතුර දෙස බැලීය. වතුර මට්ටම හා ළිං කට අතර සෑහෙන දුරක් තිබෙන බව ඔහු දුටුවේ ය. “වැස්සක පාටක්වත් පෙනෙන්න නෑ. බලන්න අහස දිහා. එය හොඳට ම නිල් පාටයි. අපි මේ ළිඳෙන් ඉක්මනට ම පිට වෙන්න ඕනෑ,”
“ඇයි ?” තරුණ ගෙම්බා ගැසුවේ ය. “මෙතන හොඳයි. වතුර තියෙනවා. අපි ඉම්මු.”
“නියඟය තව දික් වූවොත් මේ වතුර ටික ටික බහින්න ගනීවි. එතකොට වතුරෙ ඉඳන් ළිං කටට අපිට පැන ගන්න බැරි වෙයි.”
“එතකොට අපි මෙතන හිර වෙයි ද?” තරුණ ගෙම්බා ඇසුවේ ය.
“ඔව්, එළියට යා ගන්න විදිහක් නැතිව අපට මැරෙන්න වෙයි. ඒකයි පනින්න පෙර සිතා බැලිය යුත්තේ. යම් දෙයක් කිරීමේ දී දුර බැලිය යුත්තේ ඒ නිසයි, මේ මොහොත ගැන විතරක් නොසිතා.”
තරුණ ගෙම්බාට මෙය තේරුණි. හැකි වේලාවේ ඔවුහු පොකුණෙන් පිටතට පැන යන්න ගියෝය.